Nov 1, 2012

මාළු වැස්සක්

මේ ටිකේ පැල්බැඳගෙනම වහිනවා. මේ දැන් පායලා තිබ්බොත් තව ටිහිකින් වහින්න ගන්නවා. ඒ නැත්තන් දවස තිස්සෙම චුරු චුරු ගාලා එක දිගටම පොද වැහි වැටෙනවා. වැස්ස කියන්නේ කොච්චර හොඳ දෙයක් උනත් මින් මැදුරක් කරගෙන යන අපි වගේ උන්දැලාට වැස්ස කියන්නේ ඒ තරම්ම හොද දෙයක් නෙමේ.

වැහි දවස්වල අපේ ටැංකි උතුරලා පිටාර ගලනවා. එතකොට ඉන්න මාළු එකා දෙන්න ටැංකියෙන් එළියට වැටිලා ගහගෙන යනවා.ඒක නවත්තන්න වතුර අස් කරන්නත් ඕන. ඒ මදිවට සමහර මාළුන්ට වැහි වතුර ඇලජික් වෙනවා. ඒ නිසා ඒ වගේ මාළුන්ව හෙවනට අදින්නත් ඕන.

මේ  නිසා වැඩ මහ ගොඩක් තියෙන කාලයක් !



ඒව නම් කමන් නෑ කියමු. මේ වැස්ස හන්දා වෙනදට මාළු ගන්න එන කොල්ලෝ කුරුට්ටෝ ටිකත් පේන්න නෑ. උනුත් ගෙවල් වලට වෙලා නිදි ඇති.

ඔන්න පහුගිය 29 වෙනිදා කන්තලේ ලීලාරත්න ග්‍රවුන්ඩ් එක දිහෑට මාළු වැස්සකුත් වැටිලා. පෙතියොයි හිරිකනයි කියන ජාති දෙක තමයි වැස්සෙන් වැටිල තියෙන්නේ. මුන් දෙගොල්ලොම මිරිදිය මාළු ! ඒ කියන්නේ කොහෙන් හරි ජලාශයකින් ඉහලට ඇදගත්ත වතුරත් එක්ක වෙන්න ඇති මුන් එන්න ඇත්තේ.


මාළුන්ට ආදරේ කරන මින් විසිතුරුට නම් මේක ටිකක් විතර කනගාටුදායක ප්‍රවෘත්තියක් ! මොකද මෙහෙම වැටුන මාළුන්ට ආයෙම ඒ ඒ ජලාශ වලට යන්න කියලා යෑ. අපි කියලා මොනා කරන්නද සොබාදහම නෙ. ඒකනේ දිවුල්ගනේ මහත්තයාත් කියන්නේ "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.." කියලා.

 ඊලඟට පලකරන්න හිටපු ජලජ පැලෑටි ගැන ලියවෙච්ච ලිපියට ඕන කරන ෆොටෝ ටික හදන්න කොල්ලෙකුන්ට දුන්නා. ඌ තාම හාවක් හූවක් නැති නිසයි මේ ප්‍රවෘත්තිය පළ කලේ.

එහෙනම් ඊලඟට ජලජ පැලෑටි ගැන ලිපියෙන් හමුවෙමු.
ජය වේවා !

27 comments:

  1. ඔය විතරක් නම් මදෑ... සමහර මාළුන්ට සීතල වැඩි වෙන එකත් අවුලක්... කොහොමත් මාළු හදන උදවියට වැස්ස කියන්නෙ වහක්... :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම !
      වහක් නේන්නම්. කොච්චර නම් මාළු වතුරේ ගියා ද

      Delete
  2. මමත් ගොඩාක් කැමැත්තෙන් මගේ මාළු ටැංකිය පරිස්සම් කරේ. ඒත් මම නිවාඩු අතරේ නංගි එක බිඳලා.අයේත් මම මාළු ටැංකියක් ගෙනාවේ නැ.දන්‍නේ නැති ගොඩක් දේවාල් මේ බිලොග් එකෙන් අපි ඉගෙන ගන්නවා.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. දිගටම එකතු වෙලා ඉන්න. තාම ටැංකිය සකස් කරගන්න හැටි විතරයි කිව්වේ. ඊලඟ ලිපි වලින් මාළු ඇති කරමු.

      Delete
  3. එළ..මට ඔය ඕනෑම දෙකට ඔරොත්තු දෙන පොන්ට් එකක හදන්න පුළුවන් වැඩිය ලොකු නොවෙන මාළු වර්ගයක් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඔය පොන්ඩ් එක හදන හැටි කියන්න බැරි ද
      එහෙනම් ඉතින් නියෝන් ටෙට්‍රාලා ටිකක්, ටයිග බාර්බ්ලා ටිකක්, ස්වෝර් ටේල් ලා ප්ලේටියො වගේ උන්, මෝලීස් වර්ග වගේ උන් ටිකක් තමා හදන්න වෙන්නේ.

      ඊට හොඳ නැද්ද කාර්ෆ් ටිකක් කැට්ෆිෂ්ලා ටිකක් එහෙම නැත්නම් නිල් හරි සුදු හරි ගුරාමියෝ ටිකක් හැදුවා නම්.... :)

      අර පොන්ඩ් එක හදන හැටි පුලුවන් නන් පහලින් කමෙන්ට් කරන්ඩ ඈ..

      Delete
  4. අනේ මේ දවස් වල ලංකාවේ හිටියනම් කියලා හිතෙනවා. වැස්ස කියන්නේ දෙවාශිර්වාදයක්. අපි මෙහෙ වේලෙනවා.

    ReplyDelete
    Replies
    1. අපට නම් මෙහෙ හෙඟෙන්නම වැස්ස. කොළඹ එහෙම්පිටින්ම යට වෙලා. අපි ඉන්න පැත්තේ වෙල් සේරම වගේ උතුරලා පාරෙත් වතුර.

      Delete
  5. මාළු ඇති කිරිල්ලට නං මං එච්චර ආස නැති උනත් මාළු දිහා බලාගෙන ඉන්න ආසයි....

    ඒක පාරක් වැස්ස කාලෙක අපේ ගෙවල් පැත්තෙ මාළු ඇතිකරපු ගෙදරක හිටපු සාරිගප්පි ( අර වරල පාට පාට, ලස්සන චූටි මාළු ජාතියට කියන්නේ ඒක නේද) ඇළ දිගේ වගයක් ගහගෙන ඇවිත් අපේ මල්ලියි උගේ අපත යාලුවෝ සෙට් එකයි එකතු වෙලා අල්ලගෙන ඇවිත් ටැංකියට දාලා තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මාළු බලන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා ඔයාට. දිගටම එන්න හිරු. ඔයාලගේ මේ දිරිමත් කිරිල්ල නිසයි මං මේවා ලියන්නේ :)

      ඔවුවොවුවොවු උන් සාරි ගප්පි තමා. මල්ලිත් පුදුම පුත්‍රයෙක් නෙ :)

      Delete
  6. හ්ම්ම්... අපේ ගෙදරත් කලින් මාළුවෝ ඇති කළානේ... වැස්ස කාලෙට නානාප්‍රකාර ප්‍රශ්ණ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක නම් එහෙම තමා. නානාප්‍රකාර ප්‍රශ්න.

      Delete
  7. මෙහෙට නම් දවස් දෙකක් තිස්සේ පායන්නේ නැතුවම වහිනවා. හීතලයි අප්පා. යන්න ඕනි කෝපි කෝප්පයක් ගහන්න. :)
    පැළෑටි ගැන පස්සේ බලමුකෝ එහෙනම්

    ReplyDelete
    Replies
    1. එහෙනන් කෝපි එකක් ගහල එන්න. !
      කොහොමහරි ඒ හාදයාට කියලා මේ සති අන්තේ පින්තූර වැඩේ ඉවර කරගන්න ඉන්නේ.

      Delete
  8. මාළු වැස්සත් එක්ක වැටෙනව කියල අහල තිබුණට කවදාවත් එහෙම එකක් දැකල නම් නෑ.

    වතුරෙ ඉන්න මාළුන්ටත් වහින කොට අමාරුනම්, ගොඩ ඉන්න අපි ගැන ඉතිං කවර කතාද?

    ඔය පොටෝෂොප් කෙරුවාව පොඩ්ඩක් ඉගෙන ගත්තනම් හොඳයි නේද, යාළුව කරල දෙනකම් බලන් ඉන්නවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. ෆොටෝෂොප් ඉගෙන ගන්න එක නම් හොඳයි කියලා හිතුනා. එතකොට මටම තනියෙම පොටෝ කෑලි හදා ගන්න තිඋනා.

      Delete
  9. "වැහි දවස්වල අපේ ටැංකි උතුරලා පිටාර ගලනවා. එතකොට ඉන්න මාළු එකා දෙන්න ටැංකියෙන් එළියට වැටිලා ගහගෙන යනවා."

    අපොයි....හෙන පවුනේ.......

    වැඩිපුර වතුර පිට වෙන්න ක්‍රමයක් නැද්ද???

    ReplyDelete
    Replies
    1. එහෙම ක්‍රමයක් තියෙන්නේ ටැංකි කිහිපයක විතරයි සමනලී.අනිත් ඒවායේ නෑ.

      Delete
  10. ටැංකි උඩින් දැලක් දැම්මම උතුරලා ගියාට කචල් එකක් නෑ නේද,,,

    ReplyDelete
    Replies
    1. හ්ම්... ලොකු මාළු ඉන්න ඒවට නම් අවුලක් නෑ. ඒත් පැටවු ඉන්න ටැංකි වලට තමා ප්‍රශ්නේ.

      Delete
  11. වැස්සත් මාළුන්ට ඇලජික් ද? එහෙනම් මම ටැංකිය තියන්න හිටිය තැන වෙනස් කරන්න වෙයි වගේ... කොහොමත් මගේ මාළු ප්‍රොජෙක්ට් එකට සතියක විතර කාලයක් තියනවා තව. බලමුකෝ,

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. හැම මාළුවාටම අවුලක් නෑ. සමහර වර්ග වලට තමා ප්‍රශ්නේ. ඇලෙක්සැන්ඩර් රූපෙත් දාලා තියෙන්නේ. නියමයි නියමයි :)

      Delete
  12. ඔයාගේ මින් මැදුර කෙහොද තියෙන්නේ...
    අර මාලු වැස්සේ පිංතුරය කාගෙද දන්නවද කන්තලේ සුමිත්‍රා කුමාරිහාමිගේ...
    කියන්න මං හරිද වැරදිද.

    ReplyDelete
    Replies
    1. නුවර පාරේ යක්කලින් හැරිලා පාරක එනකොට තියෙන ගමක තියෙන්නේ.එච්චර ප්‍රසිද්ධ එකක්නන් නෙමේ. යාළුවෙකුයි මායි සෙට් වෙලා කරන්නේ.

      පින්තූරය නම් කාගෙද කියලා දන්නේ නෑ. ගොසිප් අඩවියකින් තිබිලා ගත්තේ. ස්තුතියි පින්තූරයේ අයිතිකාරිය ගැන කියා දුන්නට

      Delete
  13. මේ තියෙන්නේ මට හොඳ තැනක්.... :D නියමයි මේ වගේ දෙයක් ලියන එක නම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එන්න මගේ ටැංකිය බලන්න

      Delete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?